Breaking News
Loading...
Saturday, August 31, 2013

Info Post
ඓතිහාසික කන්ද උඩරට සෙංකඩගල රාජධානියේ සිදුවූ අතිශය හද කම්පා කරවන ක්‍රෑරතර ඝාතන සිද්ධිය වූයේ ඇහැලේපොල පවුල වෙනුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නියම කළ දඬුවමයි. මරණයට බිය නොවී සිය ගෙල එක කඩු පහරින් සිඳලන්නට නොබියව ඝාතකයා ඉදිරියට ගිය වීර මද්දුම බණ්ඩාර කුමරු ගැන අදත් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නේ මේ නිසාවෙනි.
සිය කුසයේ හොවා ගෙන මෙලොවට බිහි කළ දරුවන් දෑස් ඉදිරිපිට මරාදමද්දීත් කුඩාම දරුවා වංගෙඩියක දමා කොටන්නට අණකරත්දීත් මේ සියල්ල ඉවසමින් සිටි ඇහැලේපොල කුමාරිහාමි කවර ආකාරයක චරිතයක් වන්නට ඇත්දැයි අදටත් අපට සිතාගත නොහැකිය. මේ සියලු සිද්ධි පසුපස වන අති භයානක කුමන්ත්‍රණයක් තිබුණ බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වන්නට ඇත. එසේත් නොමැති නම් කාලයාගේ ඇවෑමෙන් මේ සියල්ල අපේ ඉතිහාසයේ අමතක වන්නට හැර තිබේ.
යළි යළිත් මේ සිද්ධිය පිළිබඳ ස්මරණය කරන්නට හේතුවක් දැන් අපට ඇතිව තිබේ. ඒ මේ සංවේගජනක ඉතිහාස කතාව රිදී තිරය මත සිත්තම් වන ප්‍රවෘත්තියයි. ‘ඇහැලේපොල කුමාරිහාමි’ නමින් රිදී තිරයට මේ ඓතිහාසික පුරාවෘත්තය රැගෙන එන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්ය.
මීට ඉහත විජය - කුවේණි ඓතිහාසික කතා ප්‍රවෘත්තිය සිනමාවට නඟා අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය වන්නේ ‘ඇහැලේපොල කුමාරිහාමියි’ මේ පසුගිය දිනක ඒ පිළිබඳ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.
විජය - කුවේණි චිත්‍රපටයෙන් පසු ඔබේ නිර්මාණ කාර්යය දෙසට අපේ කතා බහ යොමු කළොත්?
‘විජය - කුවේණි’ චිත්‍රපටයට නොසිතූ විරූ ජනප්‍රසාදයක් ලැබුණා. පසුගිය අවුරුද්දේ ‘පීපල්ස් අරවෝඩ්’ ඇතුළු සම්මාන විශාල ප්‍රමාණයකුත් ලැබුණා. එයින් පසුව මගේ සිත නැවතත් ගියේ ඓතිහාසික කතා තේමාවකට. මේ චිත්‍රපටයේ නම ‘ඇ‍හැලේපොල කුමාරිහාමි'. ඇහැලේපොල පවුලත්, එවකට සෙංකඩගල රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් පාදක කරගෙන තමයි මේ කතා ප්‍රවෘත්තිය ගොඩනැ‍ඟෙන්නේ. මෙහි තිරකතාව මම රචනා කරලා දැනට අවුරුද්දක් විතර වෙනවා.
මේ තිරකතාව ලියන්න ඔබට සෑහෙන ඉතිහාස හැදෑරීමක් ගවේෂණයක් කරන්න සිද්ධ වෙන්න ඇති?
අනිවාර්යයෙන්ම සෑහෙන කාලයක් මේ පිළිබඳ මම හැදෑරුවා. පතපොත කියෙව්වා. ගවේෂණාත්මකව කරුණු සොයා බැලුවා.1814 සිට 1820 දක්වා ලංකා ඉතිහාසය පිළිබඳ විශාල හැදෑරීමක් කරන්න සිද්ධ වුණා. බොහෝ වෙලාවට අපේ ඉතිහාස කතාව කියවත්දී ඇතිවන ආකල්පය තමයි ඇහැලේපොල කියන්නේ මේ රට පාවා දුන්න මිනිසෙකුය කියන හැඟීම. ඇත්තටම අපේ බොහෝ දෙනා අතරේ තිබෙන්නෙත් එවැනි ආකල්පයක්. මට ඕන නිර්මාණශීලීව මගේ කතාවක් ගොඩනඟන්න. ඇහැලේපොල රට පාවා දුන්නා නම් ඇයි එහෙම සිද්ධ වුණේ? කොහොමද ඒක සිද්ධවුණේ? ඇහැලේපොල කියන්නේ තමන්ගේ දරු පවුලට ආදරය කරපු, මත්පැන් බිඳක්වත් තොලගාපු නැති, ප්‍රතිපත්තිගරුක රණශූරයෙක්. එවැනි කෙනෙක් ඉංග්‍රීසින්ගේ සරණ පැතුවේ ඇයි? ඒ තත්ත්වයට එතුමාව පත්කළේ කවුද? රාජසිංහ රජු සහ ඇහැලේපොල නිලමේ භේද භින්න කළේ කවුද? මේ කතාන්දරයේ එන මොල්ලිගොඩ කියන චරිතය මේ සඳහා ‍ෙද්ශපාලන කුමන්ත්‍රණයක නිරත වුණාද? ඊළඟට ඇහැලේපොල කුමාරිහාමි ගේ චරිතය ගත්තොත් තමන්ගේ ස්වාමිපුරුෂයා දේශපාලන ප්‍රශ්නවලට මැදිවෙලා ඉඳිද්දි තමන්ගේ දෑස් ඉදිරිපිට තමන්ගේ දරුවන් හතරදෙනාම අමු අමුවේ ඝාතනය කරත්දී ඒවා දරාගෙන ඉන්න තරම් ආත්ම ශක්තියක් මතු වුණු මේ ස්ත්‍රිය තරම් ස්ත්‍රියක් ලෝක ඉතිහාසයේ ඇත්ද? පරම්පරාවෙන් ද්‍රවිඩ (වඩිග) වුවත් බෞද්ධාගම වැලඳගෙන දළදා මාලිගාවේ පත්තිරිප්පුව පවා හදපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුරා සො‍ඬෙකු කොට ම්ලේච්ඡ මිනිස් ඝාතකයෙක් බවට පත් කළේ කවුද? ආදිය ගැන මේ චිත්‍රපටය හරහා සාකච්ඡාවට බඳුන් කරනවා.
ඔබ මේ ඉතිහාස ප්‍රවෘත්ති හදාරන්න භාවිතා කළ මූලාශ්‍ර මොනවාද?
වංශකතා සාහිත්‍යය හුඟක් ඇසුරු කළා. උඩරට කැරැල්ල ඇතුළු මේ සම්බන්ධයෙන් ලියවුණ පොත් 40ට වැඩි ප්‍රමාණයක් පරිශීලනය කළා. ඊට අමතරව පුස්කොළ පොත්, ජනප්‍රවාද, ජනකතා, එංගලන්ත කෞතුකාගාරයේ තිබෙන පුස්කොළ පොත් පරිශීලනය කලා.
රූ ගත කිරීම් පටන් ගන්නේ කොයි කාලෙද?
මේ දිනවල පූර්ව නිෂ්පාදන කටයුතුවල යෙදිලා ඉන්නේ. පසුතල ඉදිකිරීම් මේ වෙනකොට කරගෙන යනවා. මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව අපි පසුතල වල ඉදිකරමින් පවතිනවා. අවිස්සාවේල්ල, මහනුවර, දළදා මාලිගාව ප්‍රදේශවල තමයි රූගත කිරීම් කරන්න සූදානම් කරගෙන තිබෙන්නේ. මේක දැවැන්ත නිෂ්පාදනයක්. දෙසැම්බර් මාසේ වන තුරුම පූර්ව නිෂ්පාදන කටයුතු වල යෙදෙන්න වෙලා තිබෙනවා. දෙසැම්බර් 15 වැනිදා සිට තමයි රූගත කිරීම ආරම්භ කරන්නට සැලසුම් කරගෙන තිබෙන්නේ.
නළු නිළියන් තෝරා ගැනීම කොයි වගේද?
මේ වෙනකොටත් සෑහෙන නළු නිළි පිරිසක් තෝරාගෙන තිබෙනවා. ප්‍රධාන චරිත වන රාජසිංහ රජ්ජුරුවන්ගේ චරිතය සඳහා ජැක්සන් ඇන්තනිත්, ඇහැලේපොල නිලමේ ගේ චරිතයට අනුර ධර්මසිරිවර්ධනත් ඇහැලේපොළ කුමාරිහාමි ගේ චරිතයට දුලානි අනුරාධාත් වාරියපොල සුමංගල හිමි ගේ චරිතයට බුද්ධදාස විතානාච්චිත්, කැප්පෙටිපොල දිසාවගේ චරිතයට ශ්‍රියන්ත මෙන්ඩිස් මුල්ලේගම චරිතයට රින්ස්ලි වීරරත්නත් එක්වෙනවා. මෙයට අමතරව සාරංග දිසාසේකර, අරවින්ද දොඹගහවත්ත, බුද්ධික ජයරත්න, සඳුන් විජේසිරි, සමන්ත වීරකෝන්, අතුල වී. සමරවීර ඇතුළු පිරිසක් එක්වෙනවා. කොහොම වුණත් සම්පූර්ණ නිර්මාණයට නළු නිළියන් 1500ට අධික ප්‍රමාණයක් එක්වෙනවා. මා පවත්වාගෙන යන රංගන පාසල වන New Star Academy හි කණ්ඩායම් තුනක ළමයි මේ සඳහා එක්වෙනවා.

 Ehelepola kumarihami Movie By sugath samarakoon,Ehelepola kumarihami Full Movie watch online,
Ehelepola kumarihami Movie Song,
New Sinhala Movie Ehelepola kumarihami Movie ,
latest Sinhala movie  Ehelepola kumarihami Movie

0 comments:

Post a Comment